අප්පච්චි




මං අප්පච්චි දිහා බලාගෙන හිටියා ඇඳ පාමුල ඉදං.
ඒක තවත් එක් වැහිබර දවසක්, විවිධාකාර ලෙඩ්ඩු ගොඩක් වාට්ටුවේ පිරිල හිටිය. සමහර ලෙඩ්ඩු වාඩිවෙලා මං වගේ දුවක් ගෙනාපු සුප් එකක් බොනව.
ඒත් අප්පච්චි
නැගිට්ටෙ නෑ,
ඇහැ ඇරල බැලුවෙත් නෑ.
අතේ ගහපු කටු වලින් සේලයින් යනව, නහයෙන් දාපු බටේකින් තමා අපි එයාට සුප් පෙව්වේ, තව මූත්‍රා යන්ට බටයකුත් දාලා.
පුංචි තිරයක ඉලක්කං ඉරි යනව. චිත්‍රපටියක වගේ හදවත ගැහෙන එක පේන්නනව ඒකෙන්.
මෙච්චර නිහඬව අප්පච්චි ඉන්නව මං දැකලම නෑ,
මේ තරම් මිනිස්සු ගොඩක් වට කරගෙන ඉද්දි අප්පච්චි වෙනද නං කොච්චර දේවල් කියනවද?
අපි දෙන්න පොඩි කාලේ ඉදං කියපු කරපුව මට මතක් වෙලා මැවිල පේන්ට ගත්තා.
විභාග ප්‍රතිඵල ආපුවා, ගුටි කාපුවා, අපි ගියපු ගමං, අපේ රණ්ඩු මේව හැම එකක්ම.
ලොකු වෙද්දී අප්පච්චි හිතන පතන හැටි, දේශපාලන ප්‍රශ්න ගැන හර බර කතා කියපු හැටි.
ඉස්සර අපි අප්පච්චි දුර ගමනක් ගියාම එනකං බලා උන්නු හැටි.
ඒ ගේන මලු වල සුවඳ තාම මතකයි මට.
අප්පච්චිට අපිත් එක්ක ඉන්ට ගොඩක් වෙලාව තිබ්බෙ නෑ,
ඒත් අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා.
අම්ම වගේ නැතත් මට ඒක හොඳට දැනුනා,
අඩි පොලවෙ ගහල රණ්ඩු වුන වෙලාවල පවා එයා අපිට ආදරෙයි කියල තේරුම් ගත්තේ පස්සෙයි.
ඒත් දැන් ඒ තරං ගාම්භීර අප්පච්චි ඇඳක දාල එක එක ජාති වලට අමුණපු කෙනෙක්.
වෛද්‍යවරු අපිට ටික ටික ඇඟෙව්වා එයාගේ තත්වය.
ඉස්සල්ලම පාරත් මෙහෙම හිටියට එයාට පස්සෙ හරිගියා, ඒත් ගෙදර යද්දි  CT ස්කෑන් කරල අප්පච්චිව අඩපන කරපු ඒ චූදිතයා හොයාගෙනයි තිබ්බෙ.
එයාගෙ වයසත් එක්ක ඔපරේෂන් කරන්ට බෑ කියලයි කීවෙ. ඉතින් එතකං ප්‍රෙෂර්  අමාරුව වත් නොතිබ්බ අප්පච්චි ටික ටික ඒ සතුරා ගිලගත්තා.
ඒත් අපි හිතුවට වඩා ඒ ලැබිච්ච අවුරුද්දත් වටිනා වග දැනෙන්නෙ දැන්. අප්පචි එක්ක ගමන් ගියා, අක්කගේ පුතා ඒ කියන්නෙ අප්පච්චිගේ පළවෙනි මුණුපුරා හම්බුනා, තව පොඩි පොඩි මතක.
ඒත් දැන් ඒ අප්පච්චි ඇඳක දාල එක එක ජාති වලට අමුණපු කෙනෙක්.
අප්පච්චි බේරගන්ට ඕන දෙයක් දෙන්ට මං කැමති. ඒත් මං ජීවිතය දුන්නත් එයාගේ පාර මේ අතට හැරෙන්නෙ නෑ කියල මට දැනෙනව.
අපේ ගොඩාක් කල් තිබ්බ ආදර කතාව ඉවර වේගෙන යනව වගේ. මට ඇඬුනා පොඩි දේටත් අප්පච්චි රිදවපු රණ්ඩු කරපු අවස්ථා මතක් වෙලා. ඒත් ආපහු කාලයේ ආපස්සට යන්ට බෑ.
මට සමාවෙන්ට අප්පච්චි!
මං එයාගේ කකුල් දෙක අතගෑවා.
තව ටික දවසකින් ගෙදර අරං යන්ට ඔවුන් කීවා. පන්සලේ හාමුදුරුවෝ පිරත් කියල නූලක් බැන්දා.
මෙ දුවක් නිසා ළඟ ඉන්ට බෑ රෑට, ඒ විනාඩි පැය ගානත් කොච්චර දිගද වටිනවද කියල දැනුයි දැනෙන්නේ.
අප්පච්චි ආය කතා කරන්නෙ නැද්ද?
ඒත් දැන් ඒ  අප්පච්චි ඇඳක දාල එක එක ජාති වලට අමුණපු කෙනෙක්.
ආපහු ඒ ගැඹුරු හුරුපුරුදු කටහඬ ඇහුනෙ නෑ මට.


Comments

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....